Skip to main content Skip to search

Latest News

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ජංගම සෞඛ්‍ය සායනයක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක්  ජනාධිපති කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් (18) දින පැවැත්විණි. ඒ ජනාධිපති කාර්යාලයේ වාර්ටඩි  හා සෙමා ගොඩනැගිලි පරිශ්‍රයන් හීදී ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම හා සම්පත් දායකත්වයෙන්  සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” යන තේමාව යටතේ පැවැති මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායනයේ සංවිධාන කටයුතු ජනාධිපති කාර්යාලයේ සුබසාධක සංගමය විසින් සිදු කරනු ලැබීය.

මෙම ජංගම සායනය තුළින් බටහිර වෛද්‍ය සායනය, අක්ෂි සායනය, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, රසායනාගාර සේවා, රුධිර පීඩනය මැනීම, දන්ත සායනය, රුධිර සීනි පරීක්ෂාව, කොලස්ටරෝල් පරීක්ෂාව, සුවනාරි සායනය, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම සහ නොමිලේ ඖෂධ ලබාදීමට ද සිදු කෙරුණ අතර, සායන සේවා ලබා ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක් විය.

 

 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේ දිනක වැටුප ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල සඳහා පරිත්‍යාග කෙරේ

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේ දිනක වැටුප හදිසි ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා රජය ආරම්භ කරන ලද “Rebuilding Sri Lanka” අරමුදල වෙත පරිත්‍යාගයක් ලෙස ලබාදීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත රුපියල් 1,405,200.41 කින් යුත් ඉහත මුල්‍ය පරිත්‍යාගය නිල වශයෙන් බාරදීම සිදු කෙරුණේ  ශ්‍රී ජයවර්ධපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙනි.

සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා සහය දැක්වීමක් ලෙස මෙම ප්‍රදානය සිදු කරනු ලැබූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන ආපදා කළමණාකරණ කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායීව සාක්ෂාත් කර ගැනීමට මෙම පරිත්‍යාගය උපකාරී වනු ඇති බව  ශ්‍රී ජයවර්ධපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පෙන්වා දෙන ලදි.

අපදා තත්ත්වයෙන් පසු ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල සඳහා ආදර්ශයක් ද සපයමින් සෞඛ්‍ය වෘත්තිකයින්  ලෙස ලබාදුන් මෙම මූල්‍ය පරිත්‍යාගය මෙහිදී ඇගයීමට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අභියෝග හමුවේ අඛණ්ඩව සෞඛ්‍ය සේවා සැපයීම සහ එම සේවාවන් ශක්තිමත් කිරීමේ මුලපිරීම් සඳහා මෙවැනි පරිත්‍යාග සහාය වන බව ද අවධාරණය කරන ලදි.